Sunday 21st of June 2026

English Tamil
Advertiesment


නිදහස් සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ජීවනෝපාය අයිතිය මූලික අයිතිවාසිකම් ලෙස ව්‍යවස්ථාවට එක් කළ යුතුයි


2026-06-21 1243

 

සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය හා දුප්පත්කම තුරන් කිරීමේ අයිතිවාසිකම් අධිකරණයෙන් ක්‍රියාත්මක කළ හැකි මූලික අයිතිවාසිකම් විය යුතු බව අවධාරණය කරයි

 

‘හුස්ම’ වැඩසටහන යටතේ මහනුවර ජාතික රෝහලට රුපියල් ලක්ෂ 48ක් වටිනා හිමෝ ඩයලසිස් යන්ත්‍රයක් පරිත්‍යාග කෙරේ

 

ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා පක්ෂ අරමුදල් යොදවන බවත් පාසල් හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට කෝටි ගණනක ආයෝජන සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පවසයි

 

 

අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන ආකාරය දැක්වෙන බවත් මෙහි 3 වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් ඇති බවත් ඒ යටතේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ඇතුළත් නමුත් සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, ධීවර හා කර්මාන්ත ක්ෂේත්‍රය සේම දුප්පත්කම තුරන් කිරීම ඇතුළත් නොමැති බවත් මේවා ඇතුළත් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි පරිච්ඡේදයේ බවත් මේ 6 වැනි පරිච්ඡේදයේ ඇති අයිතිවාසිකම් අධිකරණය තුළ අභියෝගයට ලක් කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ දැනට ඇති අයිතිවාසිකම්වලට අමතරව නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපනය, ජිවනෝපායන් ඇති අයිතිය, කර්මාන්තවලට ඇති අයිතිය සේම කාන්තා හා ළමා අයිතිවාසිකම් ද මූලික අයිතිවාසිකම් විය යුතු බවත් මේ මූලික අයිතිවාසිකම් අලුත් විය යුතු බවට සමගි ජන බලවේගය ප්‍රතිපත්තිමය තීන්දු පවා ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘හුස්ම’ වැඩසටහන යටතේ මහනුවර ජාතික රෝහල වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් සමගි තරුණ බලවේගය විසින් රු. ලක්ෂ 48ක් වටිනා හිමෝ ඩයලසීස් යන්ත්‍රයක් ලබා දීමේ අවස්ථාව හා එක්වෙමිනි. මේ අවස්ථාව වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය ඇතුළු පිරිසක් එක්විය. ජුනි 23 වැනිදාට යෙදී ඇති හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජන්ම දින සැමරුමට සමගාමීව මහනුවර දිස්ත්‍රික් සමගි තරුණ බලවේගයේ තරුණ තරුණියන් විසින් මෙම පරිත්‍යාග කිරීම සිදු විය. සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘හුස්ම’ වැඩසටහනේ 77 වැනි අදියර ලෙස මෙය ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා ලක්ෂ 2388ක් මේ වන විට වැය කර තිබේ.

 

රණසිංහ ප්‍රේමදාස මහතා පවා එදවස සිදු කළ සෑම වැඩසටහනක් තුළින්ම ජනතාවගේ ජන ජිවිත සුඛිත මුදිත කිරීම සිදු කළ නිසා එතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් ද කතාව සේම ක්‍රියාවෙන් ද ජනතාවට සේවාවක් ඉටු කිරීමට මේ පරිත්‍යාගය සිදු කළ බවත් අප රටේ කතාවට දක්ෂ, යෝජනා ඉදිරිපත් කරන්න, ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න, කතාවෙන් වැඩ පෙන්වන්න ඔ්නෑ තරම් පාලකයන් සිටින බවත් රණසිංහ ප්‍රේමදාස මහතා සේම සමගි ජන බලවේගයද කතාව සේම ජනතාවට සුවිශාල සේවාවක් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

සමගි ජන බලවේගය සිය පක්ෂයට ලැබෙන මුදල් ආදිය ර‌ටේ ජනතාවගේ ජන ජිවිතය සුඛිත මුදිත කරන්න යොදා ගන්නා බවත් මේ වන විට සමගි ජන බලවේගය විසින් රටේ පාසල් පද්ධතිය වෙනුවෙන් බස්රථ 89ක් පරිත්‍යාග කර ඇති බවත් ඒ සඳහා රු. ලක්ෂ 4342ක් ඒ සඳහා වැය කර ඇති බවත් පාසල් 386කට සුහුරු පන්ති කාමර ලබා දෙන්න රු. ලක්ෂ 4310ක් ඒ සඳහා ද වැයකරන ලද්දේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය ශක්තිමත් කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

නිදහසින් පසු 76 වසරක් රට ආ ගමන ක්‍රමය වෙනස් විය යුතු බවට බොහෝ දෙනා කියන මොහොතක ඒ ක්‍රමයේ වෙනස සැබවින්ම සිදු කරමින් මේ හිමෝ ඩයලසීස් යන්ත්‍රය පරිත්‍යාග කිරීම සිදු වූ බවත් බලයක් නොමැතිව විපක්ෂයේ සිටම ජනතාව වෙනුවෙන් සේවාවක් ඉටු කළේ සමගි ජන බලවේගය බවත් අද දින ද මේ පරිත්‍යාගය සිදු කළේ මහනුවර දිස්ත්‍රික් සමගි තරුණ බලවේගය බවත් පක්ෂයට ලැබෙන මුදල් වියදම් කර ප්‍රතිරූප ගොඩනගනවා වෙනුවට රටට දැයට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සේවාවක් කිරීම අද දින සිදු වූ බවත් සැබවින්ම සිදුවිය යුතු ක්‍රමයේ වෙනස වන්නේ මෙය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment